අලි - ඇතුන්ගේ නිජබිම කලාවැව් පිටිය වනසයි
බලධාරීන් නිහඬයි
මීට අමතර ව වැවෙහි කුඹුක් ශාක ඉවත් කිරීම ද රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම සිදු කෙරෙමින් පවතී. මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැදි දේශපාලන තීන්දුවක් මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ය. රොන්මඩ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ම වැලි කැනීම් කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී. නමුත් කිසිදු අධීක්‌ෂණ ක්‍රියාවලියක් හෝ නිසි සැලසුමක් නොමැති ව රොන්මඩ ඉවත් කිරීමේ කාර්යය සිදු කරන නිසා මේ කිසිදු හානිකර තත්ත්වයක් පාලනය කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී ඇත.
විශේෂයෙන් ම ජුනි, ජුලි, අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල පවතින නියං කාලගුණික තත්ත්වය තුළ දී කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය හා ඒ අවට විශාල ප්‍රදේශයක සිටින අලි - ඇතුන් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් කලා වැව වැව් පිටියට එක් රැස් වේ. එසේ එක්‌රැස් වන අලි - ඇතුන් ගේ බෝ වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ මේ ප්‍රදේශය තුළ දී ය. එම ප්‍රදේශය අලි - ඇතුන් ගේ බෝ වීම සිදුවන ජීව විද්‍යාත්මකව ඉතාම වැදගත් ප්‍රදේශයකි. එම කාල පරාසය තුළ දී ම වැවේ ජලය ඉවත් කර යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් වැවේ කැනීම් කටයුතු සිදු කිරීමෙන් අලි - ඇතුන් ගේ බෝවීමේ ක්‍රියාවලියට හා ගහනයේ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිෙරී. මේ තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කර ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.
මීට අමතර ව මේ කැනීම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස ගල්කිරියාගම, කලාගම, උදුරව, කිරලව, කිරිඳිවත්ත හා පලාගල යන ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම සිදු ව තිබේ. වාසස්‌ථාන අහිමි වීමෙන් ගම්වදින අලි - ඇතුන්ගෙන් වගා හානි හා ජීවිත හානි සිදු වීමේ දැඩි අවධානමක් මේ වන විට උද්ගතව තිබේ. කලාවැවේ රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම කුඹුක් ශාක ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්‌ෂීන් ලැගු=ම් ගන්නා ස්‌ථාන අහිමි වෙමින් පවතී. මෙය අභය භූමියේ පක්‌ෂි ගහනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි ය.
මේ තත්ත්වයන් මෙසේ පවතිද්දී කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආසන්නයේ අනවසරයෙන් හා නීති විරෝධී ලෙස හෝටල් දෙකක් ඉදි කෙරෙමින් තිබේ. අලි ගැවසුම් ප්‍රදේශයක් තුළ හා කලාවැවේ ජල ගැලුම් ප්‍රදේශ ආශ්‍රිත ව මේ හෝටල් ඉදි කිරීම හේතුවෙන් හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත විය හැකි ය. මේ හෝටල්වල අපද්‍රව්‍ය Rජුවම වැවට එක්‌වීමේ අවදානමක් ද පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව අභය භූමියක් තුළ වන සතුන් ගේ වාසස්‌ථාන විනාශ කිරීම, වන සතුන් බෝවන ස්‌ථාන විනාශ කිරීම, පස් හා වැලි කැනීම් කටයුතු සිදු කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්‌ථිර ඉදිකිරීම් සිදු කිරීම හා මාර්ග සකස් කිරීම තහනම් වේ. නමුත් මේ නීති විරෝධී ක්‍රියා සියල්ලම කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලාවැව ආශ්‍රිත ව අද වන විට සිදු වෙමින් පවතී. නමුත් එම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.
ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වැනි දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත සහ වැවක උපරිම පිටාර මට්‌ටමේ සිට මීටර් 100 ක් ඇතුළත හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.
නමුත් මේ නීතිමය තත්ත්වයන් සියල්ල උල්ලංඝනය කරමින් කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආශ්‍රිත ව හෝටල් ඉදිකිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ආදී හානිකර ක්‍රියා රැසක් සිදු වේ. කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය 1989 ජුලි මස 01 වැනි දින හෙක්‌ටයාර 21,690 ක භූමි ප්‍රමාණයකින් යුක්‌ත අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ අභය භූමියේ අලි - ඇතුන් ඇතුළුව ජෛව ප්‍රජාව ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මේ ආශ්‍රිත ව සිදුවන සියලුම හානිකර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුව ඇත. තව ද වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව නිවැරැදි පරිසර බලපෑම් ඇගයීමකින් පසු ව කලාවැවේ රොන්මඩ ඉවත් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු ව ඇත. එසේ නොමැතිව ඉතාම හානිකර ලෙස අද වන විට සිදු කරන මේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් එහි ජෛව ප්‍රජාවට සිදුවන හානිකර තත්ත්වය පාලනයට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු ව ඇති අතර අනෙක් නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු ව තිබේ. ඒ සඳහා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය
ඡායාරූප - කුෂාන් ජයවර්ධන
No comments:
Post a Comment