වැටත් නියරත්
ගොයම් කන කුඹුරකකාට කියන්නද මේ අවනඩු
"හාවා" ඔබට වරෙක සිතෙනු ඇති. හාවාට වඩා මුවා අහිංසකයි. ඔබ තවත් විටක සිතනු ඇති "ගෝනාත් ඒ තරමටම අහිංසක සතෙක් ඔබ සිතනු ඇති.
පිරිසිදු තණ පත් හා ගස්‌වල කොළ දළු බුදිමින් දිවි ගෙවන මේ සතුන් තිදෙනා අහිංසකයින් ලෙස අපි හඳුන්වන්නේ ආහාර දාමයේ මුල් පුරුක් ලෙස සැලකෙන නිසාම නම් නොවේ. ප්‍රමාණයෙන් ලොකු වුවත්, කුඩා වුවත් මේ තිදෙනාගෙන් කිසිදු හානියක් හිරිහැරයක් වනයේ වෙසෙන වෙන කිසිදු ප්‍රාණියෙකුට නොමැති නිසාය. අහිංසක වන්නේ කිසිවෙකුටත් හානියක් නොවන නිසාය.
එහෙත් අන් සතුන්ගෙන් මේ අහිංසක සතුන් වෙත එල්ල වන හිංසා පීඩා කරදර හිරිහැර කෙතෙක්‌ද...
වනයට ගහට කොළට ඇළට දොළට හා ඒවායේ වෙසෙන සතා සීපාවාට පෙම් බඳින පරිසර ලෝලීන්ගේ අවධානය මේ අතරින් වැඩිපුරම දිනාගත් සතා වන්නේ මුවාය. මන්ද මුවා මහා වනාන්තරයේ සෞන්දර්යයේ අව්‍යාජත්වයේ හා පවිත්‍රත්වයේ සංෙ€තය බඳු වන නිසාය.
මුවා අන් සියල්ලෙකුටත් වඩා අහිංසකය. අහිංසක බව නිසාම වනයේ ඌ විඳින හිංසා පීඩාදියෙහි නිමක් තැන. ඌට වනාන්තරයේ අන් කවරෙකුටත් නැති අසම සම සංවේදී බවක් උරුම වී ඇත්තේ මුවා තුළ ඇති ආවේණික අහිංසක බව නිසාය.
කාගේ හෝ කුඩා පාදයක වැදී හීනි දර ඉපල් කැබැල්ලක් බිඳෙන හඬින් පවා සලිත වන්නට වුවා සංවේදීය. දෙතුන් සියයක මුව මුව රංචුවක් එකදු හඬකින් සලිතව එක විට හිස් නඟා දෙසවන් පෙති ශබ්දය ආ දෙසට යොමුකර මඳ වේලාවක් විමසිල්ලෙන් බලා රංචු වශයෙන් අනතුරින් පලායන අයුරු යාලදී, කුමනදී හෝ වස්‌ගමුවේදී ඔබ කොතෙකුත් දැක ඇතුවා නිසැකය.
එහෙත් මුවන්ට මහා වනාන්තරයේදී කරදර වන්නේ ආහාර දාමයේ ඉහළින් ඇති උන්ගේ මස බුදිමින් ජීවත්වන මාංශ භක්‍ෂක සතුන්ගෙන් පමණි. මහ වනයෙන් මෙපිට මිනිසුන් නිතර ගැවසෙන වනෝද්‍යාන හා ගම්මානාශ්‍රිත කැලෑවල මුවන්ට කරදර හිරිහැර විඳින්නට සිදුව ඇත්තේ කොටි වලසුන්ගෙන් නොව, මිනිස්‌සුගෙනි. එක්‌කෝ මිනිසුන් විසින් මෙහෙයවනු ලැබූ දඩ බල්ලන් වැනි සිවුපාවුන් ගෙනි.
වනෝද්‍යාන රකින රැකවලුන්ගේ අවසරය හා අනු දැනුම ඇතුව හෝ නැතිව ගිනිබට කරට ගෙන සංවිධානාත්මකව කැලෑ වදින ඇතැම් මස් වැද්දන්ගෙන්. මේ අවිහිංසක මුව රංචුවලට සිදුවන හිරිහැර අදටත් කෙළවරක් නැත. ඇතැම් දේශපාලනඥයන්ගේත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේත්, ඔවුන්ගේ පිහිටාරක්‍ෂාව ලබන සමහර බලවතුන්ගෙන් දඩමස් සාපිපාසාව නිවා සනහාලන මේ දඩයක්‌කරුවන් දැක දැකත් වනසත්ව නිලධාරීන් නිහඬ වනවා හැර කුමක් කරන්නද...
මුවන්ට විඳින්නට සිදුවන මේ කරදර හිරුහැර ගැන කියා මා මේ මුල පුරන්නේ තවත් අපූරු මුව දඩයමක සුල මුල ගැන පුංචි කතාන්දරයක් හෙළිදරව් කරන්නටය.
මෙය එක් අතකින් මුවන්ට මිනිස්‌සුන්ගෙන් සිදුවන කරදරයක් නොව, ඔවුන් විසින් උසි ගන්වා වන සතුන් පසුපස ලුහුබඳින දඩයම් බල්ලන්ගෙන් සිදුවන කරදරයක් යෑයි කීවාට කමක් නැත.
මේ පුංචි කතාවට පසුබිම් වූ වනෝද්‍යානය බූන්දලයි. බූන්දල වනෝද්‍යානය ඇතුලේ පානුවල නමැති කුඩා ජලාශයක් තිබේ. සත්වෝද්‍යානය බලන්නට පසුගිය 29 වැනි ඉරිදා ගිය පිරිසක් ජලාශය අයිනේ දිය නාමින් විවේකීව සිටියහ. ජලාශය ගැඹුරු බැවිනුත් එය යෝධ කිමුලකුගේ රාජධානිය වී තිබූ බැවිනුත් ජලාශයට පැන ඒ මේ අත පිහිනා යන්නට ඉදිරිපත් වන අය හිඟය.
මධ්‍යාහ්නය ඉක්‌මවා දහවල් 1.00 ට පමණ ආසන්නව සිටියදී "ජබෝග්" ගා ඇසුණු මහ ශබ්දයක් නිසා සියල්ලෝම හැරී ඒ දෙස බලන්නට වූහ. ජලාශය ඉවුරේ හති හලමින් බුරමින් යෝධ දඩෝරියන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් පණ ගලවා ගන්නට පස්‌ස නොබලා දිව ආ නාඹර මුව නාම්බෙක් ඒ ජලාශයට වැටී දනි පනි ගා ජීවිතයත් මරණයත් අතර සටනකය.
මුව නාම්බා මහත් වැර වෑයමින් පිහිනා තවත් පසෙකින් එගොඩ වන්නට කළ උත්සාහයද අර දඩ බල්ලන් දෙදෙනා විසින් බියකර වළකනු ලැබූහ.
මුව පොව්වා යළිත් ගැඹුරු දිය හා පොර බදින්නට පටන් ගත්තේය. බියෙන් සලිතව හතියෙන් පීඩිතව වෙහෙසට පත්ව සිටි අසරණයාට වැඩි වේලාවක් ගැඹුරු දිය මත අතපය ගසමින් සිටින්නට හැකි වූයේ නැත. අවසානයේ උගේ බෙල සුන් කය දියමත ගිලී ගියේ වා බුබුළු දහරාවක් දිය මතුපිට රටා මවමිනි.
තවත් අසරණ මුව පොව්වෙකුගේ ඉරණම එසේ පුංචි ජලාශයක විසඳී යද්දී ගම්වාසීන් කිහිප දෙනෙක් හා සංචාරකයන් කිහිප දෙනෙක් බලා සිටියේ ඌ වෙනුවෙන් වෙනත් කළ හැක්‌කක් ඉතිරිව නොතිබුණු නිසාය. කතාවේ වැදගත්ම හරිය සිදුවන්නෙ ඉන් පසුවය.
විනාඩි 45 ක පමණ කාලයක ඇවෑමෙන් මුව පොව්වාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ජල තලය මත පාවෙන්නට පටන් ගත්තේය. ජල නළය මත සුළඟ නිසා ඇතිව තිබූ රැළි ඌ කෙමෙන් කෙමෙන් ඉවුර වෙත ළං කළේය. ගම්වැසියෝ කිහිප දෙනෙක් යුහුසුළුව ඒ අසරණයා ගොඩට ගෙන උගේ ඇඟ මසට ලොබින් අයිතිවාසිකම් බෙදා ගන්නට උත්සාහ කළහ.
ඕක හරි යන්නේ නැහැ. අපි දන්වමු වනජීවී එකට. එයාලා අරගෙන ගිහින් කරන දෙයක් කරාවි. එතන සිටි දේශීය සංචාරකයෙක් මැදිහත්ව කීවේය.
මොනව කරන්නද මහත්තයා එයාලා කරන්නෙත් අපි කරන්න යන දේම තමයි. හරි ඉතින්... කැමතිනම් කියල බලන්න කෝ... එතන සිටි කටකාර ගැමියෙක් කීවේය.
ඒ කිසිවක් ගණන් නොගත් සංචාරකයා බූන්දල වනජීවී කාර්යාලයට කතා කළේය. හරි අපි දැන්ම එනවා. පණිවුඩය ලබාගත් නිලධාරියා කීවේය. ටික වේලාවකට පසු ඌරණීය බීට්‌ටුවෙන් යෑයි තමන්ව හඳුන්වා දුන් නිලධාරින් දෙදෙනෙක් එතනට ආහ.
හරි... සතාව අපි භාර ගන්නම්. දැන් ඔයගොල්ලො විසිරිලා යන්න නිලධාරිහු කීහ.
ඔයාලා මොකක්‌ද මේ සතාට කරන්න යන්නේ.... කුතුහලයෙන් සිටි පෙරකී සංචාරකයා තව තවත් ප්‍රශ්න කළේය.
කරන්නේ නේද... කරන්නේ මෙයාව අපි යවනවා කවුඩුල්ලේ තියෙන අපේ වනජීවී ප්‍රදර්ශන මධ්‍යස්‌ථානයට. එතනදී මෙයාගේ හම අරන් පුළුන් පුරවලා හදලා ප්‍රදර්ශනයට තියනවා. නිලධාරියා සංචාරකයාගේ කුහුල නිමවමින් කියා සිටියේය.
හරි... අපි අපේ වාහනයෙන් ඔයාලාවයි මේ සතාවයි ගෙනිහින් බූන්දල ඔµsස් එක ළඟ බස්‌සවන්නම්.
නැහැ බොහොම ස්‌තුතියි. අපි ප්‍රයිවට් වාහනවලට කැලේ සත්තු පටවන්නේ නැහැ. නිලධාරියා නීතිය කියා දුන්නේය.
වටින් ගොඩින් අඳුර ගලා එද්දී ගම්වැසියෝ ද සංචාරකයෝ ද විසිර ගියේ රෑ බෝ වන විට ජලාශය අසලට ඇදී එන වල් අලින්ට ඇති බිය නිසා ය. ගැමියෝ ගියේ සතාට අත්වන ඉරණම ගැන සක්‌සුදක් සේ දැනගෙනය. ඒ ගැමියන් සමඟ තවදුරටත් දුරකථන සම්බන්ධතා ඇතිකරගත් මා පෙර කී සංචාරකයෝ ද ද විසිර ගියේ දිගින් දිගටම සතාගේ ඉරණම ගැන සොයා බලන සිතුවිල්ලෙනි.
ඉන් පසුව ප්‍රාණය නිරුද්ධ ඒ අහිංසක මුව පොව්වාගේ ඉරණමට කුමක් වන්නට ඇද්ද? ඒ නිලධාරීන් වනජීවී සේවයට සැබෑ ලෙස කැපවුණ මහත්තුරුනම් කාර්යාලයෙන් වාහනයක් ගෙන්වා ගෙන මුවා එහි පටවා බුqන්දල වනජීවී කාර්යාලයට ගෙන ගොස් ඉහළ නිලධාරියාට බාර දෙන්නට ඇත. බාර දී ඔහු මගින් කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත දන්වා සතා පිළිබඳ ලොග් සටහන් තබන්නට ඇත. ඊටත් පසු අවසන් මරණ පරීක්‍ෂණයකින් අනතුරුව සිරුර මිහිදන් කරන්නට ඇත.
ඒ එක ඉරණමකි. එසේ නොවුණා නම් තවත් ඉරණමක් තිබේ. සතා දෙවැනි ඉරණමට බඳුන් වන්නේ මේ නිලධාරීන් දෙදෙනා ප්‍රදේශයේ දඩමස් ජාවාරම්කරුවන්ගේ සැපයුම්කරුවන් ලෙස සේවය සලසන දෙදෙනෙක් නම් පමණි.
එය එසේ නම්, ගම්මුන් ඈත් මෑත් වනතුරු සිට යමෙකුට දුරකථන පණිවුඩයක් දෙන්නට ඇත. ඔහු යම් වාහනයකින් එන්නට ඇත. සතා ඊට පරිස්‌සමින් පටවා සඟවන්නට ඇත. ගනුදෙනුවකින් අනතුරුව සියල්ලෝම විසිර යන්නට ඇත.
සතාගේ ඉරණම විසඳෙන්නට ඇත්තේ ඒ කුමන පියවරක් මත දැයි අපි හරියාකාරව නොදන්නෙමු. එහෙත් ගම්මුන්ගෙන් ලත් තොරතුරු අනුව සිදුව ඇත්තේ මා දෙවනුව කී ඉරණමට සමාන සිදුවීමක් බව පෙනේ.
කට්‌ටිය සතාව අරගෙන ගියේ ඔය ඉත්තෑපල්ලම පැත්තේ ගෙදරකට. කට්‌ටිය එහේ එකට සෙට් වෙනවා. මහත්තයලා අපිටනේ ගන්න දුන්නේ නැත්තේ....." ගැමියන් අර සංචාරකයන් වෙත දන්වා ඇත්තේ ඒ කනගාටුදායක ආරංචියයි. ඒ ආරංචිය මා මිතුරකු මගින් හැරෙන තැපෑලෙන් මට දැනගන්නට ලැබුණේ මුවනාම්බා දියට වැටී දියෙන් ගොඩ මතු වූ අවස්‌ථාවේ ගත් පින්තූර කීපයක් ද සමගය.
මේ ආරංචිය මා වෙත ලැබුණේ ඉකුත් 30 වැනි සඳුදා සවස ය. 31 වැනිදා මා නැවත මේ ගැන විමසා බලන විට ආරංචි වූයේ මුවා වන නිලධාරීන් විසින් රැගෙන ගිය බවට ආරංචිය ප්‍රදේශයේ පැතිර ගොස් ඇති බවය.
ඊටත් පසුදා එනම් 01 වනදා මම බුන්දල වනජීවී කාර්යාලයේ පාලකවරයාට දුරකථනයෙන් කතා කළෙමි. 29 වැනිදා දියෙහි ගිලී මියගිය මුවාගේ වත ගොත විමසා බැලුවෙමි.
"ආ..... ඒ සතා අපිට ලැබුණා. අපි ඌ ගැන ඉහළට දන්වලා සිරුර කිඹුල්ලුන්ට කන්න කලපුව පැත්තට ගිහින් දැම්මා."
"දැන් එහෙනම් සිරුර සම්පූර්ණයෙන්ම කිඹුල්ලු කාල ඉවර ඇති" මම ඇසුවේ බුන්දල කිඹුලන්ගේ හැසිරීම ගැන තරමක් හෝ දන්නා නිසා ය.
"නැහැ..... කොටස් තියෙනවා. ඔයාට ඕන්නම් ඇවිත් බලන්න පුළුවන්...."
හදිසි අනතුරකින් මියගිය වන සත්ත්වයෙක්‌ගේ සිරුර විධිමත් පරීක්‍ෂණයකින් තොරව කිඹුලන්ට කන්නට දැමීම ගැන මා තුළ මතුවූයේ මහත් කුකුසකි. මට ආරංචිය දුන් මිත්‍රයා ද ඒ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ බැවින් මම කොළඹ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කතා කරන්නට උත්සාහ කළෙමි.
"ඔයාට ඔය ප්‍රශ්නය ගැන හොඳටම දැන ගන්න පුළුවන් අපේ ඩොක්‌ට තාරක ප්‍රසාද්ගෙන්. ඒ හැර වෙන වගකිවයුතු කෙනෙක් දැන් මෙතන නැහැ." කාර්යාලයේ සිටි කාන්තාවක් කීවාය. ඒ අනුව මම ඔහුට කතා කළෙමි.
"ඔයා ඔය වටින් ගොඩින් අහන්නේ කොතනටද එන්න හදන්නේ කියන්න." ඩොක්‌ට තාරක කීවේය.මම මුළු කතාවම ඔහුට කියා විමසුවේ වන ජීවියකු මෙවන් හදිසි අනතුරකට බඳුන් වූ විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය කුමක්‌ද කියා ය.
"අනිවාර්යයෙන් ම මරණ පරීක්‍ෂණයක් තියෙනවා. මට ඔය ගැන තවම වාර්තා වෙලා නැහැ. මම හොයල බලන්නම්." දොස්‌තර තාරක කීවේය. මම ඔහු ගැන විශ්වාසය තැබුවෙමි.
මම මේ සියල්ල මට ආරංචිය දුන් මාගේ මිතුරාට කීවේමි. ඔහුගේ විශ්වාසය වූයේ තවෙකකි.
"ගමේ මිනිස්‌සු කියන විදියට කට්‌ටිය එකතු වෙලා මුවා ගෙනිච්චා. මස් ටික අරන් පාටියකුත් දැම්මා. පස්‌සෙ වැඩේ ලීක් වුණා කියල ආරංචි වුණාම කට්‌ටිය එක්‌ක එකතු වෙලා උත්තරයක් හෙව්වා. ඒ අනුව තමයි ඉතිරි කටු ටිකක් ගෙනිහින් කිඹුලන්ට කන්න කියලා කළපුවට දැම්මේ. ඇයි ඉතින් සතාගේ මස් ටික කෝ කියල ඇහුවම කියන්න හොඳ උත්තරයකුත් තියෙනවානේ."
ඒ ගමේ මිනිස්‌සුන්ගේ තොරතුරුවලට අනුව කල්පනා කළ මා මිත්‍රයාගේ මතයයි. මා ඒ කිසිවක් විශ්වාස කළේ නැත. බැහැර කළේ ද නැත. මා කළේ ඒ හැම පැත්තකින්ම වාර්තා වූ කරුණු ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ ලියා තැබීම පමණි. වරද වී ඇත්තේ කොතැනද කියා නිගමනය කිරීම ඔබ සතු කටයුත්තකි. ඒ සඳහා පුළුල් පරීක්‍ෂණයක් පැවැත්වීම දෙපාර්තමේන්තුව සතු යුතුකමකි. මන්ද ඒ ගැන සත්‍යය දැන ගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇති නිසා ය.
කැලේ සත්තු උපදින්නේ කැලෑවේය. ඔවුන් මිය යන්නේද කැලෑවේ බව ඇත්ත ය. ඒ කුණපයන් පොළවට පස්‌ව යති. නැතහොත් තවත් සතුන්ගේ ගොදුරු බවට පත්වන බව ද නොරහසකි. ඒ කිසි තැනක පරීක්‍ෂණ සිදුවන්නේ නැත. කැලෑවේ සොබා දහමේ නීතියට අනුව සියල්ල සිදුවන බව අප දනිමු. අපට ප්‍රශ්නයව ඇත්තේ ස්‌වභාව ධර්මයට පිටින් ගිය මේ සිදුවීම් සියල්ල ගැන ඇත්ත දැන ගැනීමේ කුකුස පමණි.
බුලිත ප්‍රදීප් කුමාර
No comments:
Post a Comment