Thursday, November 24, 2011

ඇතින්න සමඟ ගමන් කරමින් සිටි
අන්ධ දළ ඇතා ගැන තොරතුරක්‌ නැහැ 


සීගිරිය- සරත් එරමිණිගම්මන

කලාවැව රක්‍ෂිතයේ සිට ගල්ගමුව රක්‍ෂිතය දක්‌වා ඇතින්නක සමඟ ගමන් කරමින් සිටි ගල්ගමුවේ අන්ධ දළ පූට්‌ටුවා සතියක පමණ කාලයක සිට වන ජීවී නිලධාරීන්ගේ නිරීක්‍ෂණයෙන් බැහැර වී අතුරුදන් වීම හේතුවෙන් එම ඇතා සෙවීමේ මෙහෙයුමක්‌ වනජීවී නිලධාරීන් විසින් ඊයේ (23 වැනිදා) සිට ආරම්භ කර ඇත. අලි ඇල්ලීමේ විශේෂ මෙහෙයුම් ඒකකය ගල්කිරියාව වනජීවී හා සිවිල් ආරක්‍ෂක භටයන් සහ ගජ මිතුරෝ සංවිධානය ඇතා සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇත.





ආන්දෝලනයට තුඩුදුන්
ඇත් පැටවා ගැන පරීක්‍ෂණ

ජගත් කණහැරආරච්චි

දකුණු වනජීවී කලාපයෙන් හමුවී පරිසර ක්‍ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක්‌ව සිටින ඇත් පැටවා පිළිබඳව පරීක්‍ෂාකර බලා තමා වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස මෙරට කීර්තිමත් වන අලි පර්යේෂකවරයකුට දැනුම් දුන් බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා "දිවයින" ට පැවැසීය.

අදාළ උද්‍යාන නිලධාරීන් විසින් මෙම පැටවා "ඇතිනි පැටවකු"" ලෙස හඳුනාගෙන තමන් වෙත ඒ බව දැනුම් දී ඇති බවද, ඉදිරි කාලයේදී මේ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක පරීක්‍ෂණයක්‌ සිදුකර කරුණු හෙළිකරන බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.





තුවාල ලැබූ වල් අලියා
දින කීපයක්‌ එකම තැන

මහියංගන අතිරේක - රංජිත් කරුණාවීර

වික්‌ටෝරියා, රංදෙනිගල රංටැඹේ වන රක්‍ෂිතයට ආසන්න වූ උඩදුම්බර මඩුගල්ල තිඹිරිගහමඩිත්ත ප්‍රදේශයේ තුවාල ලැබූ වන අලියකු ඇවිඳීමට අපහසුව එක්‌තැන් වී ඇති බව තිඹිරිගහ මඩිත්තේ ගම්වාසීහු පවසති. මෙම තුවාල ලැබූ වන අලියා දින හතරක්‌ තිස්‌සේ ඇවිදීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

දින තුනක සිට මේ තුවාල ලැබූ වන අලියා පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද මේ වනතුරු වනජීවී නිලධාරීන් පැමිණියේ නැතැයි ඔවුහු සඳහන් කරති.

දින කිහිපයක්‌ මෙම වල් අලියා පිළිබඳ දැනුම් දුන්නද නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මේ පිළිබඳව ගම්වාසීන් විසින් උඩදුම්බර පොලිසියට දැනුවත් කෙරුණු අතර උඩුදුම්බර පොලිසියේ ස්‌ථානාධිපති සේනක ජයසිංහ මහතා එම ස්‌ථානයට ගොස්‌ තුවාල ලැබූ අලියා පිළිබඳව සොයා බැලීය.
 


No comments:

Post a Comment