මිහි මත වෙසෙන විශාලතම ගොඩබිම් සත්ත්වයා වන්නේ අලියා බව නොකිවමනා ය. අලි ඇතුන් සම්බන්ධයෙන් සැලකීමේ දී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තැනක් හිමි වන්නේ Elephas maximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආසියානු අලින් ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ දිවයින තුළ වාසය කරන බැවිනි.
සැබැවින් ම සමස්‌ත ආසියානු හස්‌ති වාස භූමි ප්‍රමාණයෙන් සියයට දෙකකට අඩු වන මෙරට වන අලි නිජබිම තුළ ආසියානු හස්‌ති ගහනයෙන් සියයට දහයකට වඩා ව්‍යාප්ත වී සිටීම සතුටට කරුණකි. එහෙත් සංවර්ධන අවශ්‍යතා මුල් කරගනිමින් ශීඝ්‍රයෙන් මෙරට තුළ සිදු කෙරෙන පරිසර විනාශය හේතුවෙන් වන අලි නිජබිම් හීන වී යැම මෙරට වන අලි ඇතුන් ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ. මේ සියලු සංසිද්ධීන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් ඔවුන් දිවි ගෙවන ප්‍රදේශයන් ආශ්‍රිත මිනිස් ජනාවාස වෙත එළැඹ මිනිස් ජීවිත හා දේපළවලට ද, භව භෝගවලට ද බලපෑම් එල්ල කිරීම අද වන විට බරපතළ ප්‍රශ්නයක් බවට පත් ව ඇත. අලි මිනිස් ගැටුම නමින් පාරිභාෂිත මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ පාර්ශ්ව විවිධ විසඳුම් යෝජනා කර ඇත. එහෙත් දින දින උග්‍ර අතට හැරෙන අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා ද, වල් අලි ඇතුන් සංරක්‌ෂණය කිරීම සඳහා ද එම විසඳුම්වලින් ලැබී ඇති පිටිවහල පිළිබඳව දෙවරක් සිතා බලන්නට අපට සිදු වී ඇත.
විශේෂයෙන් මිනිස් ජීවිත හා දේපළවලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් පරිස්‌ථාපනය කිරීම (Translocate) හා ඉන්පසු එම අලි ඇතුන් ගේ ඉරණම මෙරට වන අලි කළමනාකණයේ අරමුණු ඉටු කරන ක්‍රියාවලියක් ද යන්න විමසා බැලීම කාලීන අවශ්‍යතාවක් ලෙස පැනනැඟී ඇත. මින් කලකට ඉහත සියඹලන්ගමුවේ දළ ඇතා ලෙස ප්‍රකට ව සිටි හස්‌තියා උගේ පාරම්පරික වාස භූමියෙන් පිටමං කර පරිස්‌ථාපනය කරමින් සිටිය දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ලොරි රථයක ඇන්ද කඩාගෙන වැටීම නිසා මරණයට පත් වීම ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ තුළ අලි ඇතුන් පරිස්‌ථාපනය පිළිබඳ සාධනීය කතිකාවතක් ද ඇති විය. එහෙත් සිරිලක වන අලි පරපුරේ ඛෙදවාචකය සියඹලන්ගමුවෙන් වත් කෙළවර කළ යුතු ව තිබිය දී තවත් සද්දන්ත වන අලියකු පරිස්‌ථාපනය කිරීමට ගොස් එම සත්ත්වයා ගේ ජීවත් වීමේ අයිතියට බාධා එල්ල කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ දෛවයේ සරදමකින් වැන්න. ඒ අනුරාධපුර වදාකඩ ප්‍රදේශයේ දී ය.
අලි ඇතුන් පරිස්‌ථාපනය යනු එම සතුන් වෙසෙන වාස භූමිවලින් නිර්වින්දනය කර අල්ලා බැඳ දමා ලොරියක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් එම සතුන් ගේ පාරම්පරික වාසභූමියෙන් ඉවත් කර වඩාත් දුර බැහැර ආගන්තුක පරිසරයක පිහිටි වනජීවී රක්‌ෂිතයකට පිටමං කිරීම ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ආකාරයෙන් පරිස්‌ථාපනය කරනු ලබන්නේ අලි මිනිස් ගැටුමට දායක වෙමින් යම් ප්‍රදේශයක මිනිස් ජීවිත හා දේපළවලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන් ය. මේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ දී වන අලියා නිසි පරිදි හඳුනාගැනීම, නිර්වින්දනය කර අල්වා ගැනීම, එම සත්ත්වයා ප්‍රවාහනය කරන තුරු රඳවා තබා ගැනීම, ලොරියකට පටවා ගැනීම, ප්‍රවාහනය කිරීම, ආගන්තුක පරිසරයට හඳුන්වා දීම හා එම ආගන්තුක පරිසරයට එම සත්ත්වයා දක්‌වන ප්‍රතිචාර හෝ හැඩගැසීම ආදිය පිළිබඳව විමසා බැලිය යුතු ය.
පසුගිය කාල සීමාව පුරාවට ම මේ ආකාරයෙන් පරිස්‌ථාපනයට ලක් කරන ලද අලි ඇතුන් 20ක් පමණ චන්ද්‍රිකා තාක්‌ෂණ කරපටි පැළඳවීම මඟින් අධ්‍යයනය කිරීමට දෙස් විදෙස් ප්‍රකට වනජීවී විද්වතකු වන අචාර්ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතා (සංරක්‌ෂණ පර්යේෂණ ආයතනය) සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී. එම දත්ත මත පදනම් ව මේ පරිස්‌ථාපන ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථක බව කදිමට වටහාගත හැකි වුව ද එය මේ දක්‌වා ම නිසි පරිදි සිදු නො වීම කණාගාටුවට කරුණකි.
මේ ආකාරයෙන් පරිස්‌ථාපනය අධ්‍යයනය කරනු ලැබූ අලින් ගෙන් මේ වන විට ජීවතුන් අතර සිටින අලින් සියලු දෙනා ම දිවි ගෙවන්නේ වනජීවිය විසින් එම සතුන් මුදා හරිනු ලැබූ වනජීවී රක්‌ෂිතවලින් බැහැර ව වීම ද විශේෂ කරුණකි. අලි දෙදෙනකු පමණක් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වී දන්නා තරමින් ගැටුම් ඇති කර නො ගෙන දිවි ගෙවීමට පුරුදු ව ඇතත් මේ සතුන් දෙදෙනා තම පාරම්පරික වාසභූමිවල දී ද ගැටුම් ඇති කරගත් සතුන් ද යන්න මතභේදාත්මක ය. අනෙක් සතුන් මහත් බහුතරයක් යළිත් තමන් ගේ නිජබිමට සංක්‍රමණය වීමට හෝ ආගන්තුක පරිසරයේ දී යළිත් මිනිස් ජීවිත හා දේපළවලට තර්ජන එල්ල කිරීමට හෝ පෙලඹීම, මේ වන අලි කළමනාකරණ උපායමාර්ග ගැන දෙවරක් සිතන්නට සංරක්‌ෂණවේදීන්ට මඟපාදන බව අප ගේ විශ්වාසයයි.
| රාවණා | තනි දළයා-චණ්‌ඩි | |||
අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ අලංකාරවත් දළ ඇතෙකි. උඩවලව ජාතික වනෝද්‍යානයට පරිස්‌ථාපනය කරන ලදී. ආගන් තුක පරි සරයේ අතරමං ව වල්මත් වූ මේ සතා වරෙක පොකුණුතැන්න ප්‍රදේශයේ ද, තවත් වරෙක බුත්තල නගර යේ ද කලබල ඇති කර මිනිස් ජීවිත හා දේපළවලට තර්ජන එල්ල කරන්නට විය. බුත්තල නගරයේ දී එල්ල කළ පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත් විය. ප්‍රතිකාර කර ලුණුගම් වෙහෙර උද්‍යානයට යළිත් පරිස්‌ථාපනය කෙරුණු අතර ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළ පිහිටි සර්වෝදයට අයත් වගා බිමක දී කිසිවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. | නියං සමයේ දී කලාවැව් පිටියේත්, සෙසු කැළෑවල ගල්ගමුව ආශ්‍රිත වනාන්තර කුට්‌ටිවලත් දිවි ගෙවූ එක් දළයක් සහිත මේ හස්‌තියා කලහකාරී සතකු ලෙස හඳුන්වා සෝමාවතී ජාතික උද්‍යානයට පරිස්‌ථාපනය කරන ලද්දේ 2009 පෙබරවාරි 16 වැනි දා ය. ගල්ගමුවට වඩා කිහිප ගුණයක් සශ්‍රීක හා විශාල අලි ඇතුන්ට හිතකර පරිසරයක් සෝමාවතියේ තිබිය දී මේ තනි දළයා කිලෝමීටර් 243ක් ගෙවා ඉතා කෙටි කලක දී යළිත් තම පාරම්පරික වාස භූමියට පැමිණියේ ය. | |||
| බ්‍රිගේඩියර් | හෝමි | |||
| නිකවැරටිය ප්‍රදේශයේ සැරි සැරූ හස්‌තියකු එහි බ්‍රිගේඩියර්වරයකු ගේ නිව සකට අලාභ හානි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2010 අප්‍රේ ල් 29 වැනි දා මාදුරුඔය ජාතික උද්‍යානයට පරිස්‌ථාපනය කරනු ලබන්නේ සැබැවින් ම මේ අලියා පීඩාකාරී කලහකාරී සතකු නිසා ද, හුදෙක් බ්‍රිගේඩියර්වරයා ගේ නිවසට පහර දීමට දඬුවම් ලෙසින් ද යන්න ගැටලුසහගත ය. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් "බ්‍රිගේඩියර්" ලෙස නම් ලද දැවැන්තයා වරෙක සාම්පූර් ප්‍රදේශයේ කිලෝමීටර් පහක් මුහුදේ පිහිනා ගොස් සිටිය දී නාවික හමුදාව මඟින් බේරාගැනුණ පුවත එකල විශාල ප්‍රසිද්ධියක් ලැබී ය. එහෙත් 2010 නොවැම්බර් මාසයේ දී පමණ බ්‍රිගේඩියර් ගේ මළ සිරුර ජයන්තිපුර ළිඳකින් හමු වේ. ඉතා අස්‌වාභාවික ලෙස හිස ඉහළට ඔසවාගෙන මිය ගොස් සිටි බ්‍රිගේඩියර් ගේ මරණය අදටත් අභිරහසකි. | හම්බන්තොට ගොන්නෙරුව පාරේ කසළ වළ අසල සිටි වන අලි අට දෙනකු ගෙන් එක් සතෙකි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව මේ ප්‍රදේශයේ ගම්මානයක් ඉදි වීම නිසා මේ අලි 8 දෙනා ම පරිස්‌ථාපනය කරන ලද අතර මුලින් ම යාල කලාප අංක 02ට පිටමං කළ හෝමි දින 04ක් ඇතුළත යළිත් කසළ වළ වෙතට පැමිණියේ ය. දෙවනුව උඩවලව ජාතික උද්‍යානය වෙත පරිස්‌ථාපනය කළ ද පෙර පරිදි ම තම පාරම්පරික වාස භූමිය වෙත පැමිණි හෝමි අවසන් වශයෙන් මාදුරුඔය ජාතික උද්‍යානය වෙත ගෙන ගොස් දැමිණි. වෙඩි පහරවල් සියයකට පමණ ගොදුරු වූ හෝමි ඉතා අවාසනාවන්ත ලෙස මාදුරුඔය හෙනානිගල ප්‍රදේශයේ දී මරණයට පත් විය. හම්බන්තොට කුණු වළේ දී කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු නො කළ හෝමි මිය යන විට මිනිසුන් හතර දෙනකු ගේ මරණයට චෝදනා ලැබ සිටියේ ය. ඒ වන අලි පරිස්‌ථාපනය නම් අසාර්ථක ක්‍රියාවලියේ මහිමයෙනි. | |||
මෙසේ පීඩාකාරී වන අලින් ලෙස හඳුන්වනු ලබන අලි ඇතුන් නියමාකාරයෙන් හඳුනාගත් පසු එම සත්ත්වයන් පරිස්‌ථාපනය සඳහා නිර්වින්දනය කර බැඳ දැමීම සිදු කෙරෙයි. මෙසේ වන අලි ඇතුන් වනාන්තර තුළ දී නිර්වින්දනය කිරීම එම සත්ත්වයා ගේ ජීවිතය අවදානමකට ලක් කිරීමකි. මිනිසුන් වන අප ශල්‍යාගාරයක් තුළ දී යම් ශල්‍යකර්මයක් සිදු කිරීමට පෙර දහසකුත් එකක් පරීක්‌ෂණවලට භාජන කරනු ලබන බව අපි දනිමු. එහි අරමුණ අප නිර්වින්දනය කිරීම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසු වන්නේ ද, නිර්වින්දනයෙන් පසු යළිත් ප්‍රකෘති සිහියට පත් කළ හැකි වේ ද, අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ මාත්‍රාව කොපමණ ද යනාදිය දැනගැනීම ය. එවැනි පරික්‌ෂාවක් සිදු නො කර වනාන්තරය තුළ දී අලි ඇතුන් නිර්වින්දනය කිරීම එම සත්ත්වයා ගේ ජීවිතය තර්ජනයට ලක් කිරීමකි. තව ද එම හස්‌තියා නිර්වින්දනය වී වැරැදි ස්‌ථානයක වැරැදි ඉරියව්වකින් ඇද වැටීම ද මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයකි. හස්‌තියකු නිර්වින්දනය වී දිව ගොස් බිම පතිත වීමේ දී උගේ හොඬය සිරුරට යට වීමට හෝ ඉදිරි පාද පෙනහළු මත තෙරපී ඇද වැටීමෙන් මරණය ගෙන දෙයි. එසේ ම විශාල ගස් දෙකක් අතරට හිර වී ඇද වැටීම හෝ ජලාශයක ඇද වැටීම ද ඒ ආකාර ය. යම් ජීවියකු නිර්වින්දනය කිරීම සඳහා ඖෂධ මාත්‍රාව නිර්ණය කරනු ලබන්නේ එම ජීවියා ගේ බර අනුව ය. වනාන්තරයේ දී වන අලියකු ගේ බර කිරීම හිතළුවක් පමණක් බැවින් පශු වෛද්‍යවරුන් සිදු කරන්නේ එම සත්ත්වයා ගේ බර අනුමාන කිරීම ය. එම අනුමානය අනුව තීරණය කරන නිර්වින්දන ඖෂධ මාත්‍රාව අඩු වුව හොත් හස්‌තියා නිර්වින්දනය නො වන අතර මාත්‍රාව නියමිත ප්‍රමාණයට වඩා වැඩි වීම එම සත්ත්වයා සදාතනික නින්දකට පත් කරන බව කිවමනා ය. මෙසේ වන වලින් නිර්වින්දනය කිරීමට අවශ්‍ය මාත්‍රාව තීරණය කිරීමේ නිරවද්‍යතාව වනජීවී පශු වෛද්‍යවරයා ගේ පළපුරුද්ද මත රඳා පවතී.
මේ ලිපිය ලිවීමට පාදක වූයේ ද අනුරාධපුර වදාකඩ රජයේ රක්‌ෂිත ප්‍රදේශයේ දී පරිස්‌ථාපනය කිරීම සඳහා බැඳ දමන ලද වන අලියකු කුමන හෝ අවාසනාවක් නිසා මරණයට පත් වීම බව කිව යුතු ය. මේ සද්දන්තයා ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මරණයට හේතුව මේ සත්ත්වයා නිර්වින්දනය කිරීමට ප්‍රථම යම් කිසි පුද්ගලයෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයක් බව ය. මෙතෙක් කලක් මෙරට වනජීවීන් මරණයට පත් වූ විට පශ්චාත් මරණ පරික්‌ෂණ පැවැත්වූ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වෙනුවට එම කාර්යභාරය වෙනත් දෙපාර්තමේන්තුවකට පවරා විනිවිදභාවයකින් යුතු පරීක්‌ෂණයක් පැවැත්වීමට හා වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව එහි දී අසන්නට ලැබිණි. එහෙත් අලි ඇතුන් නිර්වින්දනය සම්බන්ධ ඉහත තොරතුරු පිළිබඳව වැටහීමක් රේ‚ය අමාත්‍යංශයේ දේශපාලන අධිකාරියට තිබුණේ නම් මේ මරණය විමතියට කරුණක් ද නො වේ. අලි ඇතුන් නිර්වින්දනය කිරීමට පෙර උගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධය ලබාගත හැකි ක්‍රමයක් භාවිත නො කෙරෙන බව අපි ඉහත සඳහන් කළෙමු. එබැවින් වරද ඇත්තේ වනජීවී නිලධාරීන් ගේ හෝ වන අලියා ගේ නො වේ. වන අලියා පරිස්‌ථාපනයට තීරණය කිරීම තුළ ය. ඉනික්‌බිති මෙසේ අල්ලා ගන්නා වන අලින් ප්‍රවාහනය කිරීම සඳහා බැඳ දමා සිටින විට විශේෂයෙන් රාත්‍රී කාලයේ දී වෙනත් වන අලින් ගෙන් අඩන්තේට්‌ටම්වලට ලක් වූ අවස්‌ථා කලින් කලට වාර්තා වී ඇත. තව ද මෙසේ අල්ලාගත් අලි ඇතුන් පරිස්‌ථාපනය කිරීමේ දී සියඹලන්ගමුවේ ඇත් රජු මෙන්ම අනතුරට ලක් ව මරණයට පත් වීමට ඉඩකඩ තිබේ. ඒ මතු ද නො ව ආගන්තුක පරිසරයට මුදාහරිනු ලැබූ පසුව ද එයට යහපත් පරිදි අනුගත වීමට නොහැකි ව අලි ඇතුන් ගේ ජීවිත අභියෝගයට ලක් වේ. කෙදිනක හෝ නො දුටු ආගන්තුක පරිසරයකට මුදා හරිනු ලැබ එහි අතරමං වන අලි ඇතුන් තව තවත් මිනිසුන් කෙරෙහි වෛර බැඳ ගැනීම හා මිනිසුන් ගේ වගාබිම්වලට ආකර්ෂණය වීම විමතියට කරුණක් ද නො වේ. තව ද මෙහි අවාසනාවන්ත ම ප්‍රතිඵලය නම් මෙසේ පරිස්‌ථාපනය කරන වන අලින් ගෙන් සියයට තිහකට වඩා මාස කීපයක් තුළ මරණයට පත් වීමයි.
තව ද මෙසේ පරිස්‌ථාපය කෙරෙන ඇතැම් වන අලින් ආගන්තුක පරිසරයට හරිහැටි අනුගත වීමට නොහැකි ව වල්මත් ව හිස හැරුණු අත ඇවිද යැම ද මේ පරිස්‌ථාපන ක්‍රියාවලියේ ම තවත් කොටසකි. මෙවැනි අලින් කිහිප දෙනකු බුත්තල-මොණරාගල හා දෙහිඅත්තකණ්‌ඩිය වැනි නගර වෙත පැමිණ කලබල ඇති කර මිනිස් දේපළ හා ජීවිතවලට තර්ජන එල්ල කළ අවස්‌ථා හඳුනාගෙන ඇත. අලි ඇතුන් පරිස්‌ථාපනයට පෙර චන්ද්‍රිකා තාක්‌ෂණ කරපටි පැළඳවිය යුතු ය යන ප්‍රතිපත්තිමය තීරණය ද බිඳ දමමින් හම්බන්තොට ප්‍රදේශයේ සිට මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගෙන ගොස් මුදාහරින ලද එක් වන අලියකු පසුගිය දිනක දෙහිඅත්තකණ්‌ඩිය නගරයට පැමිණ මහත් කලබලයක් ඇති කිරීම මෙහි ආසන්නතම සිදුවීම ලෙස හඳුනාගත හැකි ය.
මේ ආකාරයෙන් පෙරළා වාර ගණනාවක දී පරිස්‌ථාපනයට බඳුන් කළ ද තම නිජබිම සොයා පැමිණි අලි ඇතුන් ද හඳුනාගත හැකි වීම අලි ඇතුන් තම පාරම්පරික වාසභූමි කෙරෙහි දක්‌වන ආදරය මොනවට පෙන්වා දෙන අතර ම අප ගේ වන සත්ත්ව කළමනාකරණයේ අමානුෂික බව හා එය යථාර්ථයෙන් කොතරම් බැහැර ද යන්න ද අවධාරණය කරනු ඇති බව අප ගේ විශ්වාසයයි.
රටක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරාමිතීන්ට ප්‍රබල බලපෑමක් එල්ල කරන අලි-මිනිස් ගැටුමට අප වඩාත් යුහුසුළුව ප්‍රතික්‍රියා කළ යුත්තේ අප අලි ඇතුනුත් මනුසතුනුත් යන දෙපිරිස ම මේ උවදුරෙන් මුදවාගත යුතු බැවිනි. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර අඩ සිය වසකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත. එහෙත් ඉතා අවාසනාවන්ත ම කරුණ නම් යථාර්ථයෙන් ඔබ්බට ගොස් අප තවදුරටත් ජාතික ධනය මෙන්ම කාලය ද, ශ්‍රමය ද කැප කරමින් යල් පැන ගිය අසාර්ථක ක්‍රමවේදවල ගැලී අඳුරේ අතපත ගාමින් සිටීම ය. අනුරාධපුර වදාකඩ සද්දන්තයා ගේ අවාසනාවන්න මරණය ද යළි යළිත් යථාවත් කරන සත්‍යය එයයි.
සිරිලක අලි ඇත් පරපුරේ අනාගතය ශෝකාන්තයක් බවට පත් කරන පැලැස්‌තර විසඳුම් විනා සිරිලක වන අලි පරපුරේ ෙ€දවාචකයට ස්‌ථිරසාර හා දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙනු පිණිස අදාළ වගකිවයුත්තන් ක්‍රියා නො කිරීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස සිරිලක වන අලි ගහණයේ විසූ විශාලතම දළ ඇතා ලෙස සලකනු ලැබූ සියඹලන්ගමුවේ ඇත් රජු මරණයට පත් වී ද තවමත් වැඩි කලක් ගත වී නැත. අලි ඇතුන් පරිස්‌ථාපනය කිරීම නම් වන අසාර්ථක වන අලි කළමනාකරණය ක්‍රමවේදයට තිත තැබීම උදෙසා ප්‍රබල ජනමතයක් ඇති කිරීමට එම අවාසනාවන්ත සිදුවීම හේතු විය. එම ප්‍රවේශය මඟින් යහපත් කතිකාවතක් ඇති කර එහි වැදගත් කරුණු උකහා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දැරූ බවක් පෙනෙන්නට නැත.
අලි ඇතුන් ගේ වාසභූමි උදුරාගෙන හිසරදයට කොට්‌ටය මාරු කරන්නා සේ අලි ඇතුන් එහා මෙහා ගෙන ගොස් කරකවා අතහැරීම තවදුරටත් යථාර්ථවාදී විසඳුමක් නො වන බව පැහැදිලි ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් කණා මුට්‌ටි ගැසීමේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් මෙරට අලි ඇතුන් මෙන්ම මනු සතුන් ද කබලෙන් ලිපට වැටීම ය.
දඩබ්බර අලි ඇතුන් කළමනාකරණය යන "ගිනි නිවීම" වෙනුවට ඔවුන් බිහි කරන ක්‍රමයට තිත තබා "ගිනි වළකා ගැනීමේ" මඟට අවතීර්ණ වීම සිදු විය යුතු ව ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සඵලදායක විසඳුමක් හමස් පෙට්‌ටියෙන් පිටතට ගත යුතු කාලය අපි දැනුදු ගෙවා දමමන් සිටින්නෙමු. අලි ඇතුන් යනු ශක්‌තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක් බව වටහාගෙන අලි ඇතුන් සංරක්‌ෂණය හා සංවර්ධනය මනා ලෙස ගැලපීමට ප්‍රතිපත්ති සම්පාදකයන් ද උත්සාහ දැරිය යුතු ය. එසේ ම මේ ගැටුමට වගකිවයුතු සියලු පාර්ශ්ව තම වගකීම නිසි පරිදි වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතු ය. තම ප්‍රදේශයේ ගම්වැසියකු මරණයට පත් වූ විට කුපිත වන ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙති. එයින් බොර දියේ මාළු බාන දේශපාලකයෝ ඉතා අවස්‌ථාවාදී ලෙස වනජීවියට, වන අලින් පරිස්‌ථාපනය කිරීමට හෝ එලවා දැමීමට හෝ බල කරති. එවිට වනජීවිය කළ යුත්තේ දේශපාලන අධිකාරියේ එහෙයියන් වීම නො ව තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්‌ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක් වෙත ප්‍රවේශ වීම ය. එසේ නො කර සියලු වගකිව යුත්තෝ තම වගකීම පැහැර හරිමින් මුණිවත රැකීම සිරිලක අගනා සොබා උරුමයක් වන අලි ඇතුන් සම්පත අපට අහිමි කරන්නකි. එහි පාඩුව කෙදිනක වත් පිරිමසාලිය නොහැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමු.
අද සතියේ විමසුම
සුපුන් ලහිරු ප්‍රකාශ්
No comments:
Post a Comment