ලෝකයේ අලින් ප්‍රධාන විශේෂ දෙකකට බෙදෙයි. ඒ අප්‍රිකානු අලියා (Elephas africana) සහ ආසියානු අලියා (Elephas maximus) යනුවෙනි. මේ විශේෂ දෙක අතර කැපී පෙනෙන ආවේණික ශරීර ලක්‌ෂණ ඇතත් සුවිශේෂී ලක්‌ෂණය වන්නේ අප්‍රිකානු අලින් ගේ ගැහැනු පිරිමි යන දෙපක්‌ෂයට ම දළ දෙකක් පිහිටීම ය. ආසියානු අලින් ගේ පිරිමි සතුන්ට පමණක්a දළ පිහිටීම විශේෂ ලක්‌ෂණයකි. ආසියානු අලි ශ්‍රී ලංකාව, සුමාත්‍රාව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල වාසය කරති. මොවුන් අතරින් ශ්‍රී ලංකා අලියා Elephas maxima maximas නම් වූ උප විශේෂයට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ අලියා හැර අනෙක් ආසියානු අලින් ගේ සැම පිරිමි සතකුට ම දළ දෙකක් පිහිටන අතර ගැහැනු සතුන්ට දළ පිහිටන්නේ නැත. ශ්‍රී ලංකාවේ පිරිමි අලින් ගේ ඉතා කලාතුරකින් ඉතා සුළු ප්‍රමාණයක දළ දෙකක් පිහිටයි. එහෙත් සැම ගැහැනු සතකුට ම මෙන්ම බහුතර පිරිමි සතුන්ට ද දළ පිහිටන්නේ නැත, මෙය ශ්‍රී ලංකාවේ අලින් ගේ සුවිශේෂී ලක්‌ෂණයකි. එබැවින් ශ්‍රී ලංකා අලියා ආසියානු අලින් අතර සුවිශේෂී තැනක් හිමි කරගනී.
ඇත් දළ යනු ජාන විකෘතියකින් විකරණය වුණු රදනක දත් දෙකකි. දළ වශයෙන් වර්ධනය නො වුවත් ගැහැනු පිරිමි යන සත්ත්ව කාණ්‌ඩ දෙකේ ම මුඛය තුළ මඳක් වර්ධනය වුණු රදනක දත් දෙකක් ඇත. මේවා පණු දළ යනුවෙන් හැඳින්වේ. පණු දළ දෙකක් සැම ගැහැනු සතකුට ම තිබෙන අතර හොඳින් වර්ධනය වුණු දළ දෙකක් තිබිය නොහැකි ය. එසේ වුවත් පෘෂ්ඨවංශී සතුන් ගේ සිරුර තුළ ඇති වන විවිධ විකෘතිතා හේතුවෙන් පිරිමි සතකු ගේ සිරුරින් ගැහැනු සතකු ගේ ලක්‌ෂණ මෙන්ම ගැහැනු සතකු ගේ සිරුරින් පිරිමි සතකු ගේ ලක්‌ෂණ ද පෙන්විය හැකි ය. බොහෝ විට මේ ලක්‌ෂණ, චර්යා රටා අනුව ද පෙන්වයි. (මෙතෙක් මේ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ පර්යේෂණයක් කෙරී නැති බව මේ ලියුම්කරු ගේ අදහසයි).
සිද්ධියට මුල් වූ සත්ත්වයා ගේ චර්යාවන් නිරීක්‍ෂණය කළ වනජීවී නිලධාරීන් පවසන්නේ ගැහැනු සතකු මුත්‍රා කරන ආකාරයට ශරීරයේ පිටුපස පෙදෙස දණ නමා පහත් කර එම සත්ත්වයා මුත්‍රා කරන බව ය. මෙය සබෑ ගැහැනු සතකු ගේ ලක්‌ෂණයකි. එහෙත් දළ දෙකක් පිහිටීම පිරිමි සතකු ගේ ලක්‌ෂණයකි. එසේ ම මේ සත්ත්වයා තනි ව හැසිරීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ය.
ඉතා ම කලාතුරකින් වුවත් මෙවන් ද්විලිංගික ලක්‌ෂණ පෘශ්ඨවංශී සතුන් අතර දක්‌නට ලැබීම විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව පිළිගැනීමට සිදු වේ. මේ ලියුම්කරු ගේ දැනුමේ හැටියට අලියකු ගේ වයස අවුරුදු 10ක් පමණ වන තෙක් ගැහැනු පිරිමි බව හඳුනා ගැනීමට අපහසු ය. ගැහැනු පිරිමි බව හඳුනා ගැනීමට ඇත්තේ අවස්‌ථා දෙකක් පමණි. ඉන් එකක් උන් ලිංගික කාර්යයේ යෙදෙන විට ය. අනෙක මුත්‍රා පහ කරන අවස්‌ථාවේ දී ය. පිරිමි සතුන් ගේ ලිංගේන්ද්‍රිය බාහිර වශයෙන් පිහිටා ඇති බැවින් හඳුනා ගැනීමට පහසු ය. වන ජීවී නිලධාරීන් මේ සත්ත්වයා ගැහැනු සතකු යෑයි සැක කළේ මුත්‍රා පහ කිරීමේ දී අනුගමනය කරන චර්යා රටාව අනුව ය.
මේ සත්ත්වයා ගේ හැසිරීම් රටාව හා සම්බන්ධව වැඩිදුර පර්යේෂණ කිරීම අත්‍යවශ්‍ය ය. එසේ ම ජාන පරීක්‌ෂණයකට ද ලක් කළ යුතු ය. නැත හොත් අසාමාන්‍ය සත්ත්වයා නිර්වින්දනය කර හෝ නිදි ගන්වා හෝ ශරීර ලක්‌ෂණ සහ අවයව පරීක්‌ෂා කළ යුතු ය. එසේ කිරීම විදුහුරු වන අතර කරුණු සනාථ කරගැනීමට ද පිටිවහලක් වනු ඇත. යම් හෙයකින් මේ සත්ත්වයා දළ සහිත ඇතින්නක යෑයි තහවුරු වුව හොත් ඉහත සඳහන් කරුණු අනුව එය සත්ත්ව ලෝකයේ සුවිශේෂී සිද්ධියක් වනු ඇත.
අමල් උඩවත්ත
No comments:
Post a Comment